Thursday, May 16, 2013

ලංකාවේ මාධ්‍යය නිදහස පිළිබඳව අතවිඳිය හැකි මුලික අයිතිවාසිකම් හුදු ව්‍යවස්ථාපිතමය සැරසිල්ලක් ද?

This post is written in Sinhala Language and you'll need to install Sinhala unicode for your pc from here unless you can't read this post.

ලංකාවේ මාධ්‍යය නිදහස පිළිබඳව අතවිඳිය හැකි මුලික අයිතිවාසිකම් හුදු ව්‍යවස්ථාපිතමය සැරසිල්ලක් ද?

මා
ධ්‍යය නිදහස අද රටේ ලෝකයේ ජීවත්වන අයගේ වැඩි අවධානයට පාත්‍ර වූ මාතෘකාවක බවට පත්ව ඇත්තේ, මාධ්‍යය තුළින් මිනිස් සමාජයට සිදුවන යහපතට විවිධ පාර්ශව හකුල් හෙලන විට ඇතිවන තත්ත්වයන් සමගය. මාධ්‍යය නිදහස පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට පෙර මාධ්‍යය යනු කුමක් ද යන්න පිළිබඳව අපි දැනුවත්ව සිටීම වැදගත් වේ.

          මාධ්‍යය යනු කුමක් ද යන්න පිළිබඳව යමකුගෙන් විමසීමක් කළහොත් ඔහු ලබා දෙන පිළිතුර විය හැක්කේ කුමක් ද? මාධ්‍යය යනු ප්‍රවෘත්ති විකාශනය කිරීම වේ යන්න එයට ලැබෙන අසාර්ථක පිළිතුර වේ.

          එය එසේ නම්, මාධ්‍යය යනු කුමක් ද යන ගැටළුව නැවත පැන නගී. ඒ අනුව මාධ්‍යය යනු “මානව සමාජයේ සුභසාධනය උදෙසා සිදුවූ දේ පිළිබඳව ඇත්ත කියන, සිදුවීමට හැකියැයි අනුමාන කෙරෙන ප්‍රපංචයන් පිළිබඳව සමාජීය මානවයා දැනුවත් කිරීම වේ යනුවෙන් ලිෆ්කෝ (ඉංග්‍රීසි - දෙමළ - ඉංග්‍රීසි)ශබ්දකෝෂය අර්ථ නිරූපණය කරයි.

          එම අර්ථකතනයේ යෙදී ඇති ඇත්ත යන වචනය පිළබඳව මම අදහස් දක්වනු කැමැත්තෙමි. මාධ්‍යය යථාර්ථය වසා ඇත්ත ඉදිරිපත් කරයි. මේ ප්‍රකාශනය මම උපුටා ගනු ලැබූවේ එක්තරා විදේශ ප්‍රවෘත්ති දැක්වෙන වෙබ් අඩවියකය. මෙහි අර්ථය එය දුටු විගස අවබෝධ කර ගැනීම අපහසු වූවද ලිෆ්කෝ ශබ්දකෝෂය මාධ්‍යය යන්නට ලබා දී ඇති අර්ථකතනය හා සැසඳීමෙදී එම ප්‍රකාශනයේ අදහස පහසුවෙන් තේරුම් ගත හැකිය. මේ අනුව බලන විට ඇත්ත හි යථාර්ථය යනු අදහස් දෙකකි. යථාර්ථය යනු සිදුවූ හෝ සිදුවීමට නියමිත දේ ඇති සැටියෙන් ම ප්‍රකාශ කිරීම වේ. එසේ නම් ඇත්ත යනු සමාජයේ යහපත උදෙසා යථාර්ථය කාලයේ අවශ්‍යතාව පරිදි ප්‍රකාශ කිරීම වේ. මේ අනුව බලන විට යථෝක්ත සඳහන් ප්‍රකාශනය හා අර්ථකතනය සත්‍යය එකක් බව පිළිබිඹු වේ.

          දැන්, අද දිනයේ මෙම සටහනට පාදක වූ තේමාවට පිවිසීමට අවශ්‍යය සියලු කරුණු පිළිබඳව කෙටි අදහසක් ඔබ ලබා ගන්නට ඇතැයි මම සිතමි. දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමා මාධ්‍යය නිදහස යනු කුමක් ද යන්න එක. මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට අන්තර්ජාලයට ගත වන්නේ ඉතා සුළු වේලාවකී. නමුත් එය සිංහලෙන් ඉදිරිපත් කිරීම තරමක අසීරු කර්තව්‍යයක්. එය එසේ වන හෙයින් මාධ්‍ය නිදහස යන්නට අර්ථකතනයක් මා විසින් සැපයීම යෙහෙකි යැයි මම සිතුවෙමි. ඒ අනුව, මාධ්‍ය නිදහස යනු “කිසිඳු අහිතකර බාහිර බලපෑම්වලින් තොරව මාධ්‍යයයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇති සාධාරණ අයිතිය වේ.

          ඉහත අර්ථ නිරූපණයට වඩා සංකීර්ණ හා පුළුල් අර්ථකතන තිබුණ ද මෙම අර්ථකතනය මා තෝරා ගැනීමට හේතුවක් තිබේ. එය වනාහි අද දිනයේ මාතෘකාව වේ.

          මාධ්‍යයට පහර එල්ල කිරීම පුවත්පත් කලාව ආරම්භ වීමත් සමග ඇති වූවක් ලෙස කිවහොත් වැඩිදෙනෙකු මගේ අදහසට එකඟ වෙති’යි සිතමි. එදා සිටම මෙම මාධ්‍යය සුරැකීමට විවිධ විධාන ක්‍රියාත්මකව පැවතුණි. අද මම ඔබගේ අවධානය යොමු කරන්නේ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව විග්‍රහයකට යොමු කිරීමයි.

          මාධ්‍යය නිදහස සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ එදා රජය ගත් නීතිමය විධිවිධානයක් ලෙස ද සැලකිය හැකි 1978 වර්ෂයේ හඳුන්වා දෙනු ලැබූ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මාධ්‍යයට සුවිශේෂ ලෙස අයිතිවාසිකම් ප්‍රදානය කිරීමක් සිදුකර ඇත.

          1978 ආණ්ඩුක්‍රමයෙන් පුරවැසියාට ආර්ථික, දේශපාලනික හා සමාජීය නිදහස මූලික කොට ගන්නා ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව ආණ්ඩුක්‍රමය මතු පිටින් පෙනෙන කරුණකී. ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව උදාහරණයකට ගත හැකිය. ආණ්ඩුක්‍රමයේ ඒ බව සඳහන් ව ඇත්තේ පහත අයුරිනි.
3. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මුලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.
මේ අනුව බලන විට රටේ පරමාධිපත්‍යය බලය හිමි වනුයේ ජනතාව වෙත බව ප්‍රකාශ කරන නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තියෙන් සඳහන් වන ආකාරයට එය සීමා වේ.
3. ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම ද භුක්ති විඳීම ද මතු සඳහන් ආකාරයෙන් සිදු වන්නේ ය.
        (අ)ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ..............
        (ආ)........
        (ඇ).........
        (ඈ)........
        (ඉ).........
          ආණ්ඩුක්‍රමයේ 4 වන වගන්තිය උප ව්‍යවස්ථා 5කින් සමන්විත වේ. මෙය නොවේ අපේ ගැටළුව. ගැටළුව ජනතා පරමාධිපත්‍යය ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක හා විධායක ආයතනයන්ට (විශේෂයෙන් විධායකයට) පවරා දී තිබීමයි.
උදා:- රටේ විධායක ජනාධිපති තනතුරට ජනමත විචාරයකට යාමේ (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ පනත් නොවන) බලතල ලබා දීම.

        ආණ්ඩුක්‍රමයේ තුන්වන පරිච්ඡේදයෙන් ලංකාවට ප්‍රථමවරට හඳුන්වා දෙනු ලැබූ මුලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය අඩුපාඩු වලින් සමන්විත එකක් ලෙස හඳුනාගනු ලැබේ.
උදා:-ව්‍යවස්ථා 8කින් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සමන්විතව තිබුණත් මානවයාට අවශ්‍යම මානව අයිතිවාසිකම වන ජීවත් වීමේ අයිතිය ලබා දී නොතිබීම.

          මෙය කෙසේ වූවත් ආණ්ඩුක්‍රමයේ විවිධ වගන්ති වලින් සිතීමේ හා හෘද සාක්ෂියේ අයිතිවාසිකම සුරකිනු ලබයි. නමුත් මාධ්‍යවේදීන්ගේ සිතීමේ නිදහස රටේ බලධාරීන්ගේ ප්‍රතිපත්ති හා නොගැළපෙන්නේ නම් එම මාධ්‍යවේදීයාට ජීවත් වන්නට අවස්ථාව ඇහිරී යයි. යමෙක් ඝාතනය වීම අපරාධ නඩුවක් මිස ලංකාවේ එය මුලික අයිතිවාසිකම් කඩවීමක් නොවන බැවින් ආණ්ඩුක්‍රමයේ 11 වන වගන්තිය හුදු ව්‍යවස්ථාපිතමය සැරසිල්ලක් වී ඇත. මේ සඳහා නම් ගම් සහිතව ම උදාහරණ දැක්විය හැකි නමුත් එය සදාචාර නොවන බැවින් එය සටහන් කිරීමට මට හැකියාවක් නොමැත.

          නීතිය පසිඳලීම සැමට ම සර්ව සාධාරණ විය යුතු බව ආණ්ඩුක්‍රමයේ 12 වන වගන්තියෙන් බලාත්මක කොට තිබුණ ද ආණ්ඩුක්‍රමයේ 35 වන වගන්තියෙන් එය සැමටම අදාළ නොවන බව පැහැදිලි වෙයි. මේ අනුව මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ ඇති 12 වන වගන්තිය ද හුදු ව්‍යවස්ථාපිතමය සැරසිල්ලකට සීමා වී ඇත.

          මේ ආදී ලෙස ආණ්ඩුක්‍රමයේ මාධ්‍යය නිදහසට අදාළ වන බෙහෝ වගන්ති උදාහරණ ලෙස ගනිමින් මෙය තව දුරටත් දීර්ඝව සාකච්ඡා කළ හැකි බැවින් මෙම ලිපිය අවසන් වීමෙන් මෙම ගැටළු වලට පිළිතුරු නොලැබේ.

          මේ ගැටළු වලට බ්ලොග් අඩවියේ කර්තෘ වරයෙකු ලෙසට ඉදිරි ලිපි වලින් මෙම සාකච්ඡාවේ ගැඹුරු තැන් ද, ඒවාට කල්පිත විසඳුම් ලබා දීමට ද සූදානම් ව සිටින බැවින් අපගේ විද්‍යාලයේ මාධ්‍යය ඒකකයේ බ්ලොග් අඩවිය හා රැඳී සිටින ලෙස මම ඇරයුම් කර සිටිමි.


ස්තූතියි.
ඒම්.ඒ. එම්. ශොහෙල්

සියලු හිමිකම් කර්තෘ සතු වේ.

No comments:

Post a Comment